Sorry, you need to enable JavaScript to visit this website.

නිවසේ වවන්නෝ රස ගුණ දෙකම ලබන්නෝ

ඔබේ නිවසට අවැසි එළවළු සහ පලතුරු ඔබටම වවාගත හැකිනම් එය කෙතරම් ජයග්‍රහණයක් ද යන්න විශේෂයෙන් කිව යුතු යැයි අපි නොසිතමු.එසේම ගෙවතු වගාවට යොමුවීමෙන් පවුලේ සියලු දෙනාට ම එක්ව ගත කළ හැකි කාලය විශේෂයෙන්ම දෙමව්පියන්ට දරුවන් සමඟ ගත කළ හැකි කාලයද වැඩි කරනු ඇත.

මෙසේ ගෙවතු වගාවට හුරු වීමෙන් දරුවන් තුළ විශේෂ ජීවන කුසලතා රාශියක් වර්ධනය වන අතර පැළ වැවීමට සහ රැක බලා ගැනීමට පෙළඹවීම තුළින් ඔවුන් තුළ ආත්ම විශ්වාසයද වැඩි වනු ඇත.මෙම කාලය තුළ දී දරුවන්ට දෙමව්පියන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබීම තුළින් දෙමව්පියන් අනුව චරිතය හැඩගස්වා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

දෛනිකව ගෙවතු වගාවට කාලයක් වෙන් කිරීම තුළින් ඔබ ඔබේ පවුලේ හෙට දිනයේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනයක්ද සිදු කරනු ලබයි. තම නිවසේම පවුල වගා කරනු ලබන ආහාර ගැනීම නිසා දරුවන් වඩාත් පරිසර හිතකාමී ආහාර රටාවකට හුරු වීමද සිදුවේ.

ඔබ මෙතෙක් ගෙවතු වගාවෙහි යෙදීමට අවධානය යොමු නොකළේ නම් ඒ ගැන සිතා බැලීමට හේතු කීපයක් අපි ඔබට මෙසේ ගෙන එමු.

  1. ගෙවතු වගාව විද්‍යාත්මක අධ්‍යාපනය සමග බැඳී පවතියි. එහිදී දරුවන් තමන්ගේ අත්වල මඩ ගා ගනිමින් සුවිශේෂී අධ්‍යාපනයක් ලබා ගනු ලබයි.පත්‍ර කොළ පැහැ වන්නේ ඇයි ?හිරු රශ්මිය දැඩි වන්නේ දවසේ කුමන වේලාවටද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට පිළිතුරු ඔවුන් විසින් ඉගෙනු ලබයි.ඔබේ ගෙවත්ත කුඩා එකක් වුවත් විශාල එකක් වුවත් ඒ දරුවන් පැළවලට සාත්තු කිරීම, වගාව සඳහා ගැලපෙන උෂ්ණත්වය, ඒ ඒ පැළවලට යෙදිය යුතු වතුර ප්‍රමාණය සහ ගෙවතු වගාවට අවශ්‍ය විවිධ දැනුම ලබා ගනී.
  2. බාහිර පරිසරයේ පිරිසිදු වාතය ආශ්‍රයට නිරාවරණය වීම පැළවලට පමණක් නොව දරුවාගේ වර්ධනයට ද එක සේ වැදගත් වෙයි.පාත්ති සැකසීම,වල් පැළෑටි ගැලවීම, වතුර දැමීම ආදී කටයුතු වල යෙදීම දරුවාගේ ක්‍රියාශීලීත්වය වැඩි කරනු ලබයි.
  3. බොහෝ දරුවන් එළවළු සහ පළතුරුවලට එතරම් ප්‍රිය නොකරති.එහෙත් බීජ අවස්ථාවේ සිට ඵල අවස්ථාව දක්වා එළවළු හා පළතුරු වගාවට දරුවා සහභාගි කරවා ගැනීම මගින් නිරායාසයෙන් ම තමන් විසින් වගා කරන ලද දෑ ආහාරයට ගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත.
  4. ගෙවතු වගාව මගින් වගකීම පිළිබඳව මූලික පාඩමක් දරුවාට කියා දෙනු ලබයි.පැළයක නිසි වර්ධනයට නිවැරැදි සාත්තුවක් අවශ්‍ය වේ.මේ පිළිබඳව දරුවාට කියා දීම මගින් පැළයේ වර්ධනය කෙරෙහි ඔහු තුළ වගවීමක් ඇති වේ.දරුවන් වයසෙන් වැඩීමත් සමග වගකීමක ඇති වැදගත් කම තව දුරටත් වටහාගනු ඇත.
  5. කෘෂිකාර්මික රටක් වශයෙන් වගා කිරිම පිළිබඳව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුණු ඥාන සම්භාරයක් පවුල් තුළ පවතී.තම වැඩිහිටියන් සමග ගෙවතු වගාවට සහභාගී වීමෙන් දරුවන් මේ දැනුම් පද්ධතිය උකහා ගන්නවා පමණක් නොව ඔවුන් තුළ බැඳීම් ශක්තිමත් වෙයි.එසේම සුන්දර මතක රැසක් ඔවුන් ගේ ජීවිතයට එක් වනු ඇත.

වර්තමානය වන විට සියලු දේ සුපිරි වෙළඳසැල්වලින් මිලදීගත හැකි පසු බිමක ගෙවතු වගාව කෙමෙන් කෙමෙන් අපේ සමාජයෙන් ඈත් වෙමින් පවතී.නමුත් එය පවුලේ විනෝදාංශයක් කර ගැනීමෙන් ඔබට රස ගුණ පමණක් නොව සතුටද ළඟා වනු ඇත.ඔබ විසින් වවනු ලබන දෑ මිලදී ගන්නා දේවලට වඩා රසවත්බව ඔබ විසින් අත්දැකීමෙන්ම වටහා ගනු ඇත.


කර්තෘ : මයුරී ජයසිංහ

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි