Sorry, you need to enable JavaScript to visit this website.

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්නේ මෙහෙමයි

නිරෝගීකම උතුම්ම ධනය වන බව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන කරුණකි. එසේ නිරෝගීකම ළඟා කරගැනීමට ප්‍රතිශක්තීකරණය හොඳින් පවත්වාගැනීම ඉතා වැදගත්. එම නිසා ඔබේ දරුවා, සාමාන්‍ය මෙන්ම විශේෂ රෝගාබාධවලින් ආරක්ෂා කරගැනීමට නම් දරුවාගේ ප්‍රතිශක්තීකරණය හොඳින් තිබිය යුතුය. වෙනත් වදනවලින් කියතොත් දරුවා නිතර නිතර රෝගී වීමෙන් වළක්වා ගත යුතු ය. එහිදී දරුවාගේ කෑම වේල පිළිබඳ ලබාදිය යුත්තේ ප්‍රමුඛ අවධානයකි. මක් නිසාද යත් දරුවාගේ ආහාර වේලේ ඇති පෝෂ්‍ය පදාර්ථ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ පැවැත්මට ඍජුවම බලපාන බැවිනි. විශේෂයෙන්ම විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක ආදී පෝෂක දරුවාගේ ආහාර වේලේ අන්තර්ගත වීම අතිශය වැදගත් ය.

ඔබේ දරුවාට බොහෝ රෝගාබාධ වළක්වා ගැනීමට කුඩා උපදෙස් කිහිපයක් මෙන්න:

තම දරුවන් නිතර නිතර අසනීප වනු දැකීමට මව්වරු කිසි ලෙසකින්වත් කැමැති නැත. එහෙත් විෂබීජවලින් තොර පරිසරයක දරුවා වර්ධනය වීමට සැලැස්වීම ද කිසිසේත්ම ප්‍රායෝගික නැත. දරුවාට මිදුලේ, පාරේ අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමටත්, වරින් වර මඩ තැවරුණු දෑත් සහ පාද සමඟ වුවත් නැවත නිවසට පැමිණිය යුතු ය. වරින් වර කැස්සක් හෝ කිවිසුමක් හෝ දරුවාට පිටවීම ද අතිශය සාමාන්‍ය කරුණකි. අනෙක් අතට එවැනි සාමාන්‍ය විෂබීජවලට දරුවා නිරාවරණය වූ විට, එ්වාට එරෙහි ස්වභාවික ප්‍රතිරෝධයක් දරුවා තුළම ගොඩනැගී ඔහුගේ/ ඇයගේ ප්‍රතිශක්තීකරණය දියුණු වේ. දරුවාට සමබල ආහාරවේලක් ලැබේ නම්, මේ කිසිවක් පිළිබඳ ඔබ බිය විය යුතු නැත.

  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්: රෝගවලින් ආරක්ෂාවීම සඳහා දරුවන්ට ලබාදිය හැකි හොඳම ආයුධය වන්නේ ප්‍රතිශක්තීකරණය වැඩි කරවන ආහාරපාන ලබාදීමයි. එහිදී ඔබේ දරුවාට නැවුම් එළවලු, පලතුරු, ධාන්‍ය වර්ග, බිත්තර, ඔමේගා- 3 මේද අම්ල සහිත මාළු මෙන්ම සෞඛ්‍යට වඩාත් හිතකර ඔලිව් ඔයිල් වැනි දෑ ආහාරයට ලබාදීම වඩාත් සුදුසු ය. තෝර මාළු, තලපත්, සැමන්, සාඩින් සහ බලමාළු වැනි මාළු වර්ග දරුවාගේ දිනපතා ආහාරයට එක් කරගත හැකි නම් අගනේ ය. විවිධ වර්ණවලින් යුත් එලවළු හා පලතුරු ලබාදීමටද සැළකිලිමත් වන්න. එවිට දරුවාට අවශ්‍ය සියලු ක්ෂුද්‍රපෝෂක ඉන් හිමිවනු ඇත. එහිදී සැළකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ කරි වලට අමතරව එලවළු හැකි තරම් අමුවෙන්, හුමාලයෙන් තම්බා, ජලයේ තම්බා හෝ ග්‍රිල් කර ලබාදීමයි. එවිට දරුවාට ප්‍රමාණවත් තරම් තන්තු ද ලැබෙනු ඇත.
  • විටමින් C බහුල ආහාර ලබාදීම: විටමින් C යනු දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට ඇති හොඳම මූලාශ්‍රයකි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් හා උණ රෝගවලින් දරුවා ආරක්ෂා කරගැනීමේ ශක්තිය විටමින් C සතු ය. පැඟිරි වර්ගයේ පලතුරු, පලා වර්ග, පේර සහ ස්ට්‍රෝබරි ආදියේ විටමින් C බහුලව පවතී. එමනිසා එළවලු හෝ පලතුරු සලාදයක්, ස්මූදී එකක් හෝ නැවුම් පලතුරු යුෂ ආදිය මගින් දරවාගේ ආහාර වේලට විටමින් C එක් කළ හැක.
  • විටමින් B6 බහුල ආහාර ලබාදීම: ප්‍රතිශක්තීකරණයට ඉතා වැදගත් තවත් විටමින් වර්ගයක් ලෙස විටමින් B6 හඳුන්වා දිය හැක. මෙම විටමින් වර්ග බහුලව දක්නට ලැබෙන්නේ ධාන්‍යමය සීරියල්, පරිප්පු, මුං ඇට, කව්පි, පලා වර්ග, මාළු, මස් සහ ඇට වර්ග ආදියේ ය. විශේෂයෙන්ම ඇට වර්ග දරුවාට ලබාදෙන්නේ නම් ඒවා සිහින් වනතුරු අඹරා, දරුවාගේ සීරියල් එකට උඩින් ඉස ලබාදිය හැක. ඊට අමතරව රතු කැකුළු බත් හෝ කුරක්කන් වැනි ධාන්‍යයක් යොදා සැදූ රොටි සමඟ වුවද දරුවාට ලබාදිය හැක.
  • යකඩ බහුල ආහාර ලබාදීම: දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය වඩවන පෝෂ්‍ය පදාර්ථ අතර යකඩවලට ද හිමිවන්නේ ඉහළ වැදගත්කමකි. විශේෂයෙන්ම රතු රුධිර සෛලවල හිමෝග්ලොබීන් වර්ධනය සඳහා යකඩ අත්‍යවශ්‍ය සංඝටකයකි. ඒ හරහා දරුවාගේ ශරීරයේ සියලු කොටස් වෙත ඔක්සිජන් ගෙනයාම තහවුරු කෙරේ. රතු මස්, මාළු, කුකුළු මස්, බිත්තර සහ පලා වර්ග වල යකඩ බහුලව දක්නට ලැබේ. දරුවාට වයස මාස හයක් සම්පූර්ණ වූ අවස්ථාවේ පටන් තම්බා පොඩි කරගත් එළවලු ලබාදිය හැක. ඔබට තවත් වැදගත් කරුණක් තිබේ. එනම් පලා වර්ග හෝ එළවලුවලින් ලැබෙන යකඩ අවශෝෂණය කරගැනීමට මස් වර්ගවලින් ලැබෙන යකඩ අවශෝෂණය කරගැනීමට වඩා වැඩි වෙහෙසක් දැරීමට ශරීරයට සිදුවන බව ය. එමනිසා යකඩ බහුල එළවලු වර්ග ආහාරයට එක් කරගැනීමේදී විටමින් C බහුල ආහාර ද ඒ සමඟ එක් කරගැනීම පෝෂක අවශෝෂණය කරගැනීමට පහසුවක් වනු ඇත.
  • ප්‍රමාණවත් නින්ද: දරුවාගේ ප්‍රතිශක්තීකරණය නංවන ආහාර ලබාදීම මෙන්ම දරුවාට ප්‍රමාණවත් නින්දක් ලැබීම ද අත්‍යවශ්‍යතාවයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ දරුවාගේ ශරීරයේ වර්ධනය සහ ස්වභාවික නඩත්තු කටයුතු සියල්ල සිදුවන්නේ නින්දේදී ය. එමෙන්ම පාඩම් හෝ ක්‍රීඩා හරහා වැයවන ශක්තිය නැවත ලබාගැනීමට ද හොඳ නින්දක් ලබාගැනීම දරුවාට ඉතා වැදගත් ය.

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි