Sorry, you need to enable JavaScript to visit this website.

පවුලේ නිරෝගීකම වෙනුවෙන් එක්වෙමු

බොහෝ දෙමව්පියෝ තම දරුවන් ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලට ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ ක්‍රියාශීලිත්වය ගැන කණස්සල්ලට පත්වෙති. දරුවෝද ඇඟ වෙහෙසන ක්‍රියාකාරකම්වලට වඩා නිවසට සිරවී ඉලෙක්ට්‍රොනික ලෝකයේ සැරිසරන්නට ප්‍රිය කරති.

මේ හේතුවෙන් දරුවන් අතර තරබාරුකම (ළමා ස්ථූලතාවය) වේගයෙන් හිස ඔසවමින් පවතියි. අයහපත් ආහාර රටාද ළමා පරපුරේ සෞඛ්‍යයට ප්‍රධාන තර්ජනයක් වී ඇත. එබැවින් යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම පවුලේ හර පද්ධතියේ කොටසක් කරගත යුතුය. එවිට දරුවෙකු කුඩා කාලයේ පටන් තම සෞඛ්‍ය රැක ගැනීමට හුරු වනු ඇත.

පවුලක් ලෙස එක්ව ව්‍යායාම සහ ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම්වල යෙදීමෙන් පවුලේ බැඳීම් වැඩි කරනවා පමණක් නොව, පවුලේ සියල්ලන්ගේම සෞඛ්‍ය වර්ධනයටත් හේතු වේ. දරුවන් ක්‍රීඩාවෙහි හෝ ව්‍යායාම්වල යෙදෙන විට ප්‍රේක්ෂකයන් බවට පත් නොවී ඔබත් ඔවුන් සමග එක් වන්න. මේ අයුරින් ව්‍යායාම් සහ ක්‍රීඩා පවුලේ දින චර්යාවේ කොටසක් බවට පත් කිරීමෙන් දරුවන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පාසල තුළ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලටද සක්‍රීයව දායක වී සිය අධ්‍යාපනික සහ සමාජීය ඉලක්ක පුළුල් කර ගනු ඇත.

දෙමව්පියන් ලෙස දරුවන්ට යහපත් සෞඛ්‍ය හුරු පුරුදු කිරීම අපගේ වගකීමයි. පහත උපදෙස් දරුවන් ඒ සඳහා හුරු කරවීමටයි.

දරුවන් ඔවුන් ප්‍රියකරන ක්‍රීඩාවකට යොමු කරන්න. ක්‍රීඩාවක නිරතවීමට දරුවා අකමැති නම් එවැනි අවස්ථාවකදී ඊට විකල්පයක් ලෙස ඇවිදීම, බයිසිකල් පැදීම වැනි පවුලේ සියලු දෙනාට ම සහභාගි විය හැකි ක්‍රියාකාරකමක් පිළිබඳව අවධානය යොමු කරන්න. මින් ඔබ දරුවාට ශාරීරික ක්‍රියාශීලීත්වය ගැන මෙන්ම පවුලේ බැඳීම් වැඩිකර ගැනීම පිළිබඳවද පාඩමක් කියා දෙනු ලබයි.

ඔබේ දරුවා වීඩියෝ ගේම් වැනි දෙයට ඇබ්බැහි වූ අයෙක් නම් ඇවිදිමින් ( ඇතැම්විට නටමින්) ප්ලේ කළ හැකි වීඩියෝ ගේම් දරුවාට හඳුන්වා දෙන්න.

දරුවා ඩිජිටල් තිර සමග ගත කරන කාලය සීමා කර විනෝදාස්වාදය ලබා ගත හැකි වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරවන්න.

පවුල් මට්ටමින් තරග පවත්වන්න.( උදා: වැඩිම දුර ප්‍රමාණයක් ඇවිද ගිය පවුලේ සාමාජිකයා තේරීම).

දවසේ සිදුකරන ක්‍රියාකාරකම පවුලේ සාමාජිකයන් ප්‍රිය කරන ක්‍රියාකාරකම්වලින් තුණ්ඩු ඇදීමෙන් තෝරා ගන්න. මේ මගින් පවුලේ සියලු දෙනාටම තමන් ප්‍රිය කරන ක්‍රියාකාරකමක යෙදීමට දින කීපයකට වතාවක්වත් අවස්ථාවක් ලැබෙනු ඇත.මේ වැනි නිර්මාණශීලී අදහස් භාවිතා කිරීමෙන් නිරෝගීකම පවුලක් ලෙස රැක ගන්න.

පවුලේ සෞඛ්‍යය ගැන කතා කරද්දී නිවැරදි පෝෂණය ගැන සැලකිලිමත් වීමද ඉතා වැදගත්ය. නිවැරදි ආහාර රටාව ගැන දරුවන්ට ඉගැන්වීම සඳහා පවුලේ ආහාර වේල සැලසුම් කිරීමේදී දරුවන්ද සහභාගී කරවා ගන්න. සතියේ ආහාර වේල් සැලසුම් කිරීම, වෙළඳසැල් වෙත යාම, සහ ආහාර පිසීම වැනි කටයුතුවලට දරුවන් සම්බන්ධ කර ගැනීමෙන් ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර පිළිබඳ දැනුමක් ලබා දිය හැකිය. පවුලේ සියලු දෙනා එකට වාඩි වී ආහාර ගැනීමෙන් යහපත් ආහාර පුරුදු වර්ධනය වන අතර, පවුලේ සන්නිවේදනය සහ එකමුතුකම වැඩි දියුණු වේ.

නිරෝගී පවුලක් එකිනෙකාගේ මානසික සෞඛ්‍යය ද රැක ගැනීමට උත්සාහ කරනවා. වර්තමාන තරගකාරී ලෝකයේ දරුවන් සහ දෙමාපියන් යන දෙපාර්ශවයම විවිධ ආකාරයේ පීඩනයන්ට මුහුණ දෙමින් ඉන්නවා. පවුල තුළ සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම, දරුවන්ගේ හැඟීම් සහ අදහස් වලට සවන් දීම සහ ඔවුන්ගේ ගැටලු විසඳීමට උපකාර කිරීම හරහා මානසික සෞඛ්‍යය වර්ධනය කර ගත හැකි වේ. සතියකට වරක් හෝ පවුලේ සාකච්ඡා සැසි පැවැත්වීම, පවුලේ සියලු දෙනා එකතු වී භාවනා වැනි සිත සංසුන් කරන ක්‍රියාකාරකම් වල නිරත වීම සහ එකිනෙකාගේ ජයග්‍රහණ සැමරීම වැනි ක්‍රියාකාරකම් මගින් පවුලේ සියලු දෙනාගේම මානසික යහපැවැත්ම වර්ධනය වේ. මෙම සමබරතාවය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සහ සමාජ සබඳතා වලට ද ධනාත්මක බලපෑමක් ඇති කරනවා.

නිරෝගී පවුලක් බිහි කිරීමට අද සිටම ක්‍රියා කරමු. අපේ දරුවන්ගේ අනාගතය සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු වැදගත් බව තරයේ සිතට ගනිමු.


You might also like

All rights reserved to Nestlé Family Club