Sorry, you need to enable JavaScript to visit this website.

ඔබේ දරුවාටත් කෑම කැවීම යුද්ධයක්ද?

බොහෝ දරුවන්ට සිඟිති අවධියේදී කෑම කැවීම අපහසු කාර්යයක්.මේ නිසා තම දරුවාට නිසි පෝෂණය නොලැබේද යන සැකය මත දෙමව්පියෝ නිරායාසයෙන්ම කණස්සල්ලට පත්වෙති.නමුත් නිසි ලෙස ආහාර නොගන්නා දරුවන්ගේ ආහාර රටාව වෙනස් කිරීමට යහපත් පවුල් ආකල්පවලට හැකියාව ඇත.

ඔබේ දරුවන් සමඟ ආහාර ගැනීමෙන් ඔවුන් සමග බැඳීම් ශක්තිමත් වන නමුත් එවැනි අවස්ථාවක අවිධිමත් ආහාර රටාවකින් යුතු දරුවෙකු සිටීම නිසා යම් යම් ගැටලු ඇතිවීම ස්වභාවිකය. මෙවැනි අවස්ථාවක දී දරුවාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමෙන් වැළකී වඩාත් ප්‍රායෝගික සහ උපක්‍රමශීලී ප්‍රවේශයක් අනුගමනය කරන්න.බිළිඳු දරුවෝ වයසෙන් වැඩීමත් සමඟ තමන් ගන්නා ආහාර රුචි අරුචිකම් මත වර්ගීකරණයට පෙළඹෙති.ඇතැම් විට දෛනිකව මෙම රුචි අරුචිකම් වෙනස් වී යා හැකිය.මෙවැනි අවස්ථාවලදී ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු අතර ඔබ පමණක් නොව සෑම දෙමාව්පියෙක්ම මෙම ප්‍රශ්නයට මුහුණ දෙන බව වටහා ගත යුතුය. මෙවැනි අවස්ථාවකට මුහුණදෙන ඔබට භාවිතා කළ හැකි උපක්‍රම කීපයක් මෙසේය.

  1. කෑම වේලාව තුළ රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න.ඒ මඟින් පවුලේ සියලු දෙනාම ශාරීරිකව මෙන්ම මානසිකවත් කෑම මේසය වටා ගොනු කර ගත හැකිය.
  2. ප්‍රධාන කෑම වේල්වලට අමතරව ඔබ විසින් දරුවාට ලබා දෙන කෙටි කෑම සහ විවිධ බීම වර්ග සීමා කරන්න.එමඟින් දරුවා කෑම මේසයට පැමිණෙන්නේ කුසගිනි සහිතවය.
  3. දරුවාට ආගන්තුක ආහාර ගැනීමට බල නොකරන්න, නමුත් ඒ ආහාර කෙතරම් රසවත් ද යන්න පහදා ඒවා රස බැලීමට උද්යෝගිමත් කරවන්න.
  4. දරුවා අකමැති ආහාර වර්ග වෙනත් ක්‍රම වලට ( උදා: සුප් වර්ග, නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස්) සකසා පිළිගන්වන්න.දරුවාව සමබර ආහාර වේලකට හුරු කිරීමට මෙය පහසු මගකි.
  5. දරුවා වයසින් වැඩීමත් සමග ම ආහාර සැකසීම සඳහාත් සඳහාත් ඔහුගේ/ ඇයගේ සහයෝගය ලබාගන්න.තමන් විසින් පිසිනු ලබන ආහාර රස බැලීමට ඔවුන් නිරායාසයෙන්ම පෙළඹෙනු ඇත.
  6. කෑම මේසය තුළදී කෑම පිළිබඳ ව මැසිවිලි නගන දරුවෙකු කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු නොකරන්න.එසේ නොමැති වුවහොත් දෙමව්පිය අවධානය ලබා ගැනීමට දරුවා එම හැසිරීමට ඇබ්බැහි වනු ඇත.
  7. දරුවා කෑම වලට ප්‍රිය නො කරන්නේ ඊට එක් කරනු ලබන කුළුබඩු හෝ රසකාරකයක් නිසා නම් ඔහු වයසින් වැඩීමත් සමඟ එම රසයට හුරු වනු ඇති බව පැහැදිලි කරන්න.
  8. පවුලක් ලෙස ආහාර ගැනීමේදී එම අවස්ථා පවුලේ සියලුදෙනාටම විනෝදජනක අත්දැකීම් බවට පත් කරගන්න.ඒ අවස්ථාවලදී හැකිතාක් දුරට වෙනත් දේ පිළිබඳව අවධානය යොමු වීම වළක්වාලන්න.එමගින් දරුවන් අලුත් ආහාර රස බැලීමට උද්යෝගිමත් කිරීම පහසු කරවනවා ඇත.
  9. ඇතැම් අවස්ථාවක දරුවෙකු විධිමත් ලෙස ආහාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඔහුගේ ම රටාවකට ආහාර අනුගමනය කරනවා වන්නට පුළුවන.එවැනි අවස්ථාවක දී දෙමව්පියන් ලෙස වඩාත් ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර මෙය සියලූ දරුවන්ට පොදු ලක්ෂණයක් බව වටහා ගත යුතුය.

කර්තෘ : මයුරී ජයසිංහ

ඔබ කැමති වෙනත්

Nestlé Family Club වෙත සියලුම හිමිකම් ඇවිරිණි